ආරුක්කු නවය හා දෙමෝදර රේල් ගැටයේ ඇත්ත කතාව

Wednesday 30 January 2019 | 126 Views

1893දි හපුතලේටත් 1894දි බණ්ඩාරවෙලටත් පැමිණෙන දුම්රිය මාර්ග තැනීමේ කටයුතු ඇල්ල දුම්රිය ස්ථානය පසු කර ටික දුරක් යන විට වංගුවක් සමඟ පාලමක් දැමීමට අවශ්‍ය වන ස්ථානයකට පැමිණියා. ඒ 1919දී තනා නිම කළ අඩි 100ක් උස අඩි 400ක් දිග ගොටුවල ආරුක්කු නවයේ පාලම හෙවත් අහස් නවයේ පාලම(Nine arches viaduct) පිහිටි ස්ථානය. මෙය ශ්‍රී ලාංකිකයන් අතර සෑහෙන්න ප්‍රසිද්ධියක් උසුලන්නේ මෙය දෙමෝදර ප්‍රදේශයේ වාසය කළ ‘අප්පුහාමි’ නමින් හඳුන්වන බාස් කෙනෙකුගේ නිර්මාණයක් වශයෙනි.

නමුත් ඒ කතාව නිවැරදි නැහැ. මෙවැනි ආරුක්කු සහිත පාලම් යුරෝපයේ බහුලව දකින්න පුළුවන් පාලම් විශේෂයක් වන අතර උඩරටට මාර්ගය එළීමේදී අලගල්ල කන්ද පාමුල තිබූ මෙවැනිම පාලමක් (Alagalla viaduct) පිළිබඳවද ඉතිහාසයේ සඳහන් වනවා. ඒ නිසා මෙය අප්පුහාමි බාස්ගේ නිර්මාණයක් නොවන බව නම් පැහැදිලියි. එහෙනම් කවුද මේ අප්පුහාමි බාස්? මෙන්න මේ ප්‍රකාශනයේ සඳහන් වෙනවා මෙය බ්‍රිතාන්‍යයන්ගේ අධීක්ෂණය යටතේ සම්පූර්ණයෙන්ම දේශීය ශ්‍රමයෙන් ගොඩනැංවූවක් බව. එසේ නම් මේ අප්පුහාමි බාසුන්නැහේ ඒ වැඩ කණ්ඩායමේ ප්‍රධාන බාස් වෙන්න පුළුවන් බව සමහරුගේ මතයක් තිබෙනවා. එය නම් පිළිගත හැකි මතයක්.
අනිත් කාරණය මෙය තනිකර ගල් පමණක් යොදාගෙන කළ නිර්මාණයක් බව පැවසෙතත් මෙම ප්‍රකාශනයේ හැටියට එයට කොන්ක්‍රීට් යොදා වැරගන්වා තිබෙනවා.

ඊළඟට අපේ කෝච්චිය එනව සුප්‍රසිද්ධ දෙමෝදරට. දැන් මෙතැනින් පහළ තියෙන කන්දට කෝච්චිය ගන්න බැරුව සුදු ජාතිකයින් ළතැවෙන විට එළුවන් දක්කාගෙන ආ එඬේරෙක් විසින් ඔහුගෙ ජටාව බැඳ තිබෙනාක් මෙන් සර්පිලයක් (spiral) ආකාරයට රේල් පාර වම් පැත්තේ ඇති කන්ද වට යවා එමගින් දකුණු පැත්තේ පහළින් ඇති කන්දට කෝච්චිය ගත හැකි බව පෙන්වූවා කියලයි ජනප්‍රවාදයෙ තියෙන්නෙ.

මේ කතාවත් නිවැරදි නොවෙන්නෙ මේ ආකාරයේ ගැට, සර්පිල (spiral) එහෙමත් නැත්නම් තොණ්ඩු (loop) සහිත මාර්ග බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්ම මීට කලින් ගොඩනඟා තිබෙන නිසයි. හොඳම උදාහරණය ඉන්දියාවේ ඩාර්ජිලීන් හිමාලයානු දුම්රිය මාර්ගය. 1881දි විවෘත කළ එහි මෙවැනි රේල් ගැට 3ක් දැනට තිබෙනවා. (කලින් 5ක් තිබිල තියෙනව).
එයින් හොඳින්ම පැහැදිලි වෙනවා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට මේ පිළිබඳව පළපුරුද්දක්, අත්දැකීමක් තිබුණු බවත් ලාංකික ගැමියෙකුගේ අදහසක් බව කීම අප විසින් අපවම රවටාගැනීමක් බවත්.

මට තිබෙන පුදුමය, අපට ආඩම්බර විය හැකි අපේම නිර්මාණ කොතෙකුත් තිබියදී ඇයි මේ සුද්දන්ගෙ දේවල්ම පුරාජේරු කීමට යොදා ගත්තේ කියන එක. අපට අපේ ම දැනුම් සම්භාරයක් තිබුණු නමුත් රජරට රාජධානි වල පිරිහීමත් විදේශීය ආක්‍රමණත් නිසා එම දැනුම අභාවයට ගිහින් තියෙනව. නමුත් මම මෙයින් කියන්න උත්සාහ කරන්නෙ නෑ අද අපේ රටේ නිර්මාණශීලී මිනිස්සු නෑ කියල. මම අහන්නෙ ඇත්තටම ආඩම්බර වෙන්න අපේ දේවල් තිබියදී ඇයි අපේ නොවන දෙයක් අපේ කරගන්න උත්සාහ ගන්නෙ කියල.

Like and Subscribe

Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.


Your Reaction

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

Share This Article

Leave a Reply

Comments